සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය (AI) භාවිතය නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාව ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පුද්ගල දත්ත ආරක්ෂණ පනත හඳුන්වා දෙමින් ඒ සඳහා වන විශේෂ අධිකාරියක් පිහිටුවීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි. ලොව පුරා විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන කෘත්‍රිම බුද්ධි විසඳුම් දේශීයකරණයකින් තොරව සෘජුව භාවිත කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අසමානතා තවදුරටත් පුළුල් කිරීමට හේතු විය හැකි බව අවධාරණය කළේය. එබැවින් අදාළ AI තාක්ෂණය මෙරට රෝග ව්‍යාප්තිය, සෞඛ්‍ය සේවා කාර්ය ප්‍රවාහයන් මෙන්ම භාෂාව සහ සමාජීය යථාර්ථයන්ට ගැළපෙන අයුරින් අනුවර්තනය කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.මේ අතර, “වැඩකරමු – රට හදමු – ගෞරවනීය රාජ්‍ය සේවාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ පළමු වන වාර්ෂික මහා සමුළුව ද කොළඹදී පවත්වා තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සංවිධානය කෙරුණු මෙම දේශීය සමුළුව සඳහා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා ද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේය.

























