හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් සාම යෝජනාවක්

ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින දැඩි යුදමය ආතතිය සමනය කිරීමේ අරමුණින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය විසින් වොෂින්ටනය වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, පකිස්ථාන මැදිහත්කරුවන් හරහා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ යුද්ධය අවසන් කිරීම සඳහා පොදු එකඟතාවකට එළඹීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සංකීර්ණ සාකච්ඡා පසුවට කල් තබා, සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ප්‍රමුඛතාව ලබා දීමට ඉරානය සූදානම් වීමයි.​කෙසේ වෙතත්, මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු සම්බාධක ඉවත් වීමට ඉඩ පවතින අතර, එය ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනයට යම් අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉරානයේ යුරේනියම් නිෂ්පාදනය අවම වශයෙන් දශකයක කාලයකට හෝ අත්හිටුවීමට ට්‍රම්ප් රජය දරන උත්සාහයට අවශ්‍ය කරන බලපෑම් සහගත මෙවලම්, මෙවැනි එකඟතාවක් හරහා ගිලිහී යාමේ අවදානමක් පවතින බව ඔවුන්ගේ මතයයි.​ලෝක බොරතෙල් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් එළඹෙන ඕනෑම තීරණයක් ගෝලීය ආර්ථිකයට සෘජුවම බලපානු ඇත. එබැවින් මෙම නව යෝජනාව ඉරාන-ඇමෙරිකානු යුද්ධයේ අනාගතය තීරණය කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව නිසැකය. පවතින අස්ථාවර වාතාවරණය හමුවේ මෙම රාජ්‍ය තාන්ත්‍රික පියවර ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 736

Leave A Reply

Your email address will not be published. Required fields are marked *