හෝමූස් සමුද්‍ර සන්ධිය “ආර්ථික න්‍යෂ්ටික අවියක්” ලෙස භාවිත කරමින් ඉරානය ලෝකයටම තර්ජනය කරන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා ප්‍රකාශ කරයි. පවතින යුද වාතාවරණය සමනය කිරීමට සහ සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය නව යෝජනාවක් ඉදිරිපත් කර ඇතත්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා කල් දැමිය යුතු බවට පනවා ඇති කොන්දේසිය වොෂින්ටනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ඉරානය පවසන පරිදි සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඔවුන්ගේ පාලනය හෝ ගාස්තු අය කිරීම් මත සිදු වන්නේ නම් එය ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කිරීමක් බව රූබියෝ මහතා අවධාරණය කරයි.ඉරානයේ මෙම නව යෝජනාව පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද සිය අසතුට පළ කර ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි. ඉරානය මෙම තීරණාත්මක මුහුදු මාර්ගය සිය වාසියට යොදා ගැනීමට උත්සාහ කිරීම භයානක පූර්වාදර්ශයක් බව පෙන්වා දෙන අමෙරිකාව, ඉරානයේ කොන්දේසි මත සාකච්ඡාවලට එළඹීමට සූදානම් නැති බව පවසයි.මේ අතර, තමන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට උත්සාහ නොකරන බව ඉරාන රජය දිගින් දිගටම ප්‍රකාශ කරයි. එහෙත්, සිය යුරේනියම් තොග ඉවත් කරන ලෙස අමෙරිකාව කරන බලපෑම් ටෙහෙරානය විසින් මේ දක්වාම ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙම ගැටුම හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබේ.
























