වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරා සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විටත් දිවයින පුරා දන්සැල් 2,388ක් සාර්ථකව ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉදිරි මැයි මස 29 වැනිදා දක්වා අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කරන්නේ, මෙවර වෙසක් සමයේ දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තු වන සියලුම සංවිධායකයින් ප්‍රමාදයකින් තොරව තමන්ගේ දන්සැල ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බවයි. එමඟින් මහජනතාවට පිරිසිදු හා ගුණාත්මක ආහාර පාන සැපයීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවන් නිසි පරිදි ලබා ගැනීමට සංවිධායකයින්ට අවස්ථාව හිමි වේ.පොදු ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බැවින්, දන්සැල් සංවිධායක මණ්ඩල කඩිනමින් අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනිමින් ලියාපදිංචි කටයුතු නිම කරන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ඉල්ලා සිටී.



























