අභ්‍යවකාශ ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් ‘ඊටා ඇක්වා රිට්ස්’ (Eta Aquariids) උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වනු ඇත. මෙම වසරේ වාර්තා වන ප්‍රධානතම ආකාශ වස්තු සංසිද්ධියක් ලෙස සැලකෙන මෙය නැගෙනහිර අහස දෙස බැලීමෙන් ඕනෑම අයෙකුට පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට අවස්ථාව පවතී.අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ හෙට අලුයම 4:00 ත් 5:00 ත් අතර කාලය මෙම උල්කාපාත නිරීක්ෂණය කිරීමට වඩාත් උචිතම හෝරාව වන බවයි. රාත්‍රී අහසේ පැහැදිලි බව වැඩි වන තරමට මෙම දර්ශනය වඩාත් ආකර්ෂණීය ලෙස දිස්වන බැවින්, නගරබද ආලෝකයෙන් බැහැරව අඳුරු ස්ථානයක සිට අහස දෙස බැලීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැක.හේලිගේ වල්ගාතරුව මගින් ඉතිරි කර යන අභ්‍යවකාශ දූවිලි අංශු පෘථිවි වායුගෝලයේ ගැටී දැවී යාමෙන් මෙම අපූර්ව උල්කාපාත වර්ෂාව නිර්මාණය වේ. මෙවර උල්කාපාත වර්ෂාව වඩාත් සාර්ථකව නිරීක්ෂණය කිරීමට හැකි පරිදි කාලගුණික තත්ත්වයන් සහ අහසේ පිහිටීම හිතකර මට්ටමක පවතින බව විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කරයි.

























