ආණ්ඩුවේ 18 මාසයක පාලනය දැඩි විවේචනයට: මරික්කාර් මහතාගෙන් චෝදනා රැසක්

වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස 18 ක කාලය තුළ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ ආර්ථික වර්ධනයක් හෝ රැකියා උත්පාදනයක් වෙනුවට වර්තමානයේ පවතින්නේ බොරුව සහ වංචාව රජයන පාලනයක් බවයි. විශේෂයෙන්ම මැතිවරණ සමයේ ජාතික සම්පත් සුරැකීමට දුන් පොරොන්දු අමතක කර, ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතම ක්‍රියා කරන බවට ඔහු මෙහිදී චෝදනා කළේය.​ආණ්ඩුව යටතේ සිදුවූ බව කියන මහා පරිමාණ ගල් අඟුරු වංචාවක් පිළිබඳව කරුණු අනාවරණය කළ මන්ත්‍රීවරයා, මෙරටට ආනයනය කළ ගල් අඟුරු නැව් 16 කින් 14 ක්ම ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බව පැවසීය. මෙම තත්ත්වය නිසා විදුලිය උත්පාදනය අඩාල වී ඇති අතර, එය පියවා ගැනීමට ඩීසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව මහ භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම ‘හැකර්’ ප්‍රහාරයක් ලෙස හැඳින්වීම ජනතාව නොමඟ යැවීමක් බවත්, මෙය පද්ධතිය ඇතුළතින් සිදුවූ මූල්‍ය මංකොල්ලයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් පැවැත්වීමට නම් මුදල් අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් ඉවත් විය යුතු බව මරික්කාර් මහතා අවධාරණය කරයි. ආණ්ඩුවේ මෙම අදූරදර්ශී පාලනයට සහ අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව සිය පක්ෂය විසින් මෙවර මැයි දිනය වෙනුවෙන් ‘පච මදිවට බොරු – විකල්පයේ මැයි රැළිය‘ සංවිධානය කරන බවද ඔහු මෙහිදී දැනුම් දුන්නේය. ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු යටපත් කරමින් සිදුකරන මෙම පාලන ක්‍රමය තවදුරටත් පිළිගත නොහැකි බව ඔහුගේ අදහසයි.

What's your reaction?

Related Posts

1 of 1,119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *