නිල සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ ‘INS UDAYGIRI’ යුද නෞකාව සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (11) දිවයිනෙන් පිටත්ව ගියේය. කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව වෙත සම්ප්‍රදායානුකූල සමුදීමක් ලබා දෙන ලදී.දිවයිනේ රැඳී සිටි කෙටි කාලසීමාව තුළ, දෙරටේ නාවික හමුදා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ සුහද අත්පන්දු තරගාවලියක්, වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සහ විශේෂ පුහුණු අභ්‍යාස සඳහා නෞකා කාර්ය මණ්ඩලය සහභාගී විය. ඊට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය අමතර කොටස් සහ සැපයුම් තොගයක් ප්‍රදානය කිරීම මෙන්ම කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැලසිණි.මෙවැනි සංචාර හරහා දෙරටේ නාවික හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය, අත්දැකීම් හුවමාරුව සහ සහයෝගීතාව ඉහළ නැංවෙන බව නාවික හමුදාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම කලාපීය සාගර ආරක්ෂාවට සහ අභියෝගවලට සාමූහිකව මුහුණ දීමට මෙමඟින් විශාල රුකුලක් ලැබෙනු ඇත.


























