කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයේදී විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී වසර 13කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කළ මෙම තරගයේදී, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 303ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියල්ලන්ම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණක් වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.​ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 103කදී ලකුණු 79ක් රැස්කරමින් ඔහුගේ 19 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. නායකත්වයේ වගකීම කරට ගත් කුසල් මෙන්ඩිස් ද වේගවත් ඉනිමක් දියත් කරමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 62කදී ලකුණු 72ක් (35 වැනි අර්ධ ශතකය) ලබා ගත් අතර, මැදපෙළින් දායකත්වය සැපයූ චරිත් අසලංක ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.​පන්දු යැවීමේදී කොදෙව් පිල වෙනුවෙන් මැතිව් ෆෝඩ් ලකුණු 44කට කඩුලු 2ක් සහ රොස්ටන් චේස් ලකුණු 47කට කඩුලු 2ක් බැගින් බිඳ හෙලීමට සමත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ, අවසන් වරට 2013 වසරේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ මෙම ක්‍රීඩාංගණයේදීම කොදෙව්වන් හමුවේ ලැබූ කඩුලු 6ක පරාජයට වසර 13කට පසු සාර්ථකව පලිගැනීමට හැකි වීම හේතුවෙනි.

What's your reaction?

Related Posts

1 of 791

Leave A Reply

Your email address will not be published. Required fields are marked *