ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පවතින උග්‍ර හෙද නිලධාරී හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (13) දහවල් පැයක විරෝධතාවක නිරත විය. පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා පැවති මෙම විරෝධතාවයේදී සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, රෝහලේ සේවා කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට දැනට සිටින හෙද නිලධාරීන් 370 දෙනාට අමතරව තවත් 120 දෙනෙකුගේ අවශ්‍යතාවක් පවතින බවයි.පවතින පුරප්පාඩු හේතුවෙන් එක් හෙද නිලධාරියෙකුට තිදෙනෙකුගේ රාජකාරි බර දැරීමට සිදුව ඇති බවත්, එමගින් ඔවුන් දැඩි ශාරීරික හා මානසික පීඩනයකට ලක්ව ඇති බවත් සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව පළාත් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, නව පත්වීම් හෝ ස්ථාන මාරු මගින් පුරප්පාඩු පුරවන ලෙස බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් ද යොමු කර ඇත. කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට එම සංගමය අනතුරු අඟවයි.



























