ජාතික සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගාලු සහ දඹුලු කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ඉනිමක සහ ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළ අතර, එහිදී සදීර සමරවික්‍රම ලකුණු 113ක අගනා ශතකයක් වාර්තා කළේය. දඹුල්ල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු පතිරණ ලකුණු 41කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 488ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක් කරමින් තරගයේ පාලනය තමන් සතු කර ගත්තේය. දඹුල්ල ඉනිම ශක්තිමත් කළ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 133ක් රැස් කළ අතර, අන්ජල බණ්ඩාර (69) සහ ධනංජය ද සිල්වා (62) අර්ධ ශතකවලින් දායක වූහ. ලකුණු 233ක අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ ගාලු ක්‍රීඩකයන්ට දඹුලු පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔවුන් ලකුණු 192කට සීමා විය.ගාලු දෙවන ඉනිමේදී ද සදීර සමරවික්‍රම ලකුණු 74ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 34ක් ලබා ගත්තද එය පරාජය වැළැක්වීමට ප්‍රමාණවත් නොවීය. දඹුල්ල වෙනුවෙන් අකිල ධනංජය ලකුණු 60කට කඩුලු 4ක් දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, ගාලු කණ්ඩායමට පිතිකරණයේදී සදීර දැක්වූ දක්ෂතාව හැරුණු කොට සමස්තයක් ලෙස දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු විය.

























