ජනපති ටෝ ලාම් හෝ චි මිං පිළිරුවට උපහාර දක්වයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා, අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පුද කළේය. කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඉතා සුහදශීලී අයුරින් පිළිගත් අතර, එම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා දෙරටේ ජාතික ධජ රැගත් පාසල් දරු දැරියන් ද එක්ව සිටියහ. දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වී තිබේ.​මෙහිදී පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත “වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය” (Vietnam-Ho Chi Minh Space) නවීකරණය කර පුළුල් කිරීමේ කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ප්‍රදර්ශනයට තබා ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නිරීක්ෂණය කළ ටෝ ලාම් මහතා, දේශීය පාසල් සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර නැරඹීමට ද අමතක නොකළේය. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය දියුණු කිරීමේ අරමුණින් වියට්නාම රජය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් ද කොළඹ නගර සභාව වෙත පිරිනැමීම විශේෂත්වයකි.​වියට්නාම විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා මහතා විසින් අදාළ මූල්‍ය ප්‍රදානය කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ප්‍රබල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *