ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව, යුරෝපා සංගමය වෙත දැඩි වෙළෙඳ කොන්දේසි පැනවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ස්කොට්ලන්තයේදී එකඟ වූ වෙළෙඳ සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබන ජූලි 04 වනදා දක්වා සහන කාලයක් ලබා දී ඇති අතර, නියමිත දිනට පෙර පොරොන්දු වූ පරිදි තීරුබදු ඉවත් කිරීමට යුරෝපය අපොහොසත් වුවහොත් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා දැවැන්ත බදු පැනවීමට නියමිතය. යුරෝපා සංගමය සිය පාර්ශවයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට පමාවීම මෙම දැඩි තීරණයට මූලික හේතුව වී තිබේ.මෙම නව බදු පැනවීම් යටතේ යුරෝපයේ නිෂ්පාදිත මෝටර් රථ සඳහා වන තීරුබදු 15% සිට 25% දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති අතර, එය ජර්මනිය වැනි රටවල මෝටර් රථ කර්මාන්තයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇත. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, යුරෝපා පාර්ලිමේන්තුව මේ වන විටත් අදාළ නීතිමය සංශෝධන සඳහා කටයුතු කරමින් සිටින බව සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කළාය. නියමිත කාලසීමාව අවසන් වීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි ඇය වැඩිදුරටත් විශ්වාසය පළ කර සිටියි.

























