ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී වෙසක් බැති ගී සරණිය සහ දන්සල් මාලාවක්

​”බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “වෙසක් බැති ගී සරණිය” වැඩසටහන ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය ජූනි මස 02 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 6.30 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.​මීට සමගාමීව වෙසක් සිරි නැරඹීමට පැමිණෙන මහජනතාව වෙනුවෙන් විශේෂ දන්සල් මාලාවක් ද ජනාධිපති කාර්යාලය අසලදී ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණි. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ජනාධිපති ලේකම්වරයා සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දස දහසකට අධික ජනතාවක් සහභාගී වූහ. මෙම බත් දන්සල මෙන්ම එහි සංවිධානය කර ඇති අයිස්ක්‍රීම් දන්සල ද ජූනි 02 වැනිදා දක්වාම මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත.​හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” සහ “බෞද්ධාලෝක” වෙසක් කලාප කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව තවත් ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබේ. මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අවට රාජ්‍ය ගොඩනැඟිලි සහ මාර්ග සියල්ල විදුලි බුබුලුවලින් අලංකාර ලෙස ආලෝකවත් කර ඇති අතර, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද ජනාධිපති කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් එම පරිශ්‍රයේදී පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 1,166

Leave A Reply

Your email address will not be published. Required fields are marked *