ට්‍රම්ප් පරිපාලනයෙන් දරුවන් වෙනුවෙන් නව ආයෝජන වැඩපිළිවෙළක්

ඇමරිකානු පවුල්වල දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බදු සහන සහිත විශේෂ ආයෝජන වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ. “One Big Beautiful Bill Act” (OBBBA) නමැති නව පනත යටතේ ක්‍රියාත්මක වන මෙම මූල්‍ය වැඩපිළිවෙළ මගින් වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂිත ඉතුරුම් ගිණුම් ක්‍රමයක් ස්ථාපිත කෙරේ. මෙහි සුවිශේෂී පියවරක් ලෙස 2025 සහ 2028 අතර කාලයේ උපත ලබන සෑම අලුත උපන් බිළිඳෙකු වෙනුවෙන්ම ඇමරිකානු ඩොලර් 1,000ක මූලික දායකත්ව මුදලක් රජය මගින් පිරිනැමීමට ද සැලසුම් කර ඇත.​මෙම ජාතික වැඩපිළිවෙළ වඩාත් පහසුවෙන් ජනතාව වෙත සමීප කරවීම සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබේ. ඒ අනුව BNY සහ Robinhood වැනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනවල තාක්ෂණික සහයෝගීතාව ඇතිව “Trump Accounts” නමැති නිල ජංගම දුරකථන යෙදුම (Mobile App) පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධියට පත් කෙරිණි. මෙමගින් ඇමරිකානු දෙමාපියන්ට ඉතා සරල පියවර කිහිපයකින් තම දරුවන් වෙනුවෙන් වූ බදු සහන ආයෝජන ගිණුම් ස්මාර්ට් ජංගම දුරකථනය හරහාම ආරම්භ කිරීමට අවස්ථාව හිමිවේ.​එළඹෙන ජූලි මස 4 වනදා මෙම සේවාව නිල වශයෙන් රට පුරා දියත් කිරීමට නියමිත අතර, ඊට පෙර සුදුසුකම් ලබන දෙමාපියන් වෙත ගිණුම් සක්‍රිය කරගැනීම සඳහා වන නිල විද්‍යුත් තැපැල් පණිවිඩ (activation emails) යොමු කිරීමට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. කෙසේ වෙතත්, නව ජංගම යෙදවුම් බාගත කිරීමේදී සහ පුද්ගලික දත්ත ඇතුළත් කිරීමේදී වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා රජයේ නිල වෙබ් අඩවි සහ සන්නිවේදන නාලිකා පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස මූල්‍ය විශේෂඥයෝ ජනතාවට මතක් කර දෙති.

What's your reaction?

Related Posts

1 of 788

Leave A Reply

Your email address will not be published. Required fields are marked *