රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජලභීතිකාව තුරන් කිරීම සහ බල්ලන් ලියාපදිංචිය නියාමනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත. මෙම යෝජිත නීතිය මඟින් බල්ලන්ට එන්නත් කිරීම, බල්ලාගෙ ගහණය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා බල්ලන් බෝ කිරීම නියාමනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, පළාත් පාලන බල ප්‍රදේශයක් තුළ සිටින සති හයකට වැඩි ඕනෑම බල්ලෙකු වාර්ෂිකව ජලභීතිකාවට එන්නත් කර අදාළ ප්‍රාදේශීය ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර, එන්නත් කිරීමෙන් පසු නිකුත් කෙරෙන සහතිකය සහ නියමිත ගාස්තුව ගෙවීමෙන් අනතුරුව ලියාපදිංචි සහතිකය ලබාගත යුතුය. බල්ලෙකු ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000 ක දඩයක් නියම කිරීමට ද මෙම පනත යටතේ යෝජනා කර ඇත.මීට අමතරව, සෑම පළාත් පාලන ආයතනයක්ම තම බල ප්‍රදේශයේ ඇති සියලුම වීදි බල්ලන් වඳභාවයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වේ. එසේම, බල්ලන් බෝ කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නෙකු බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු තැනැත්තෙකුට වාණිජ අරමුණු සඳහා බලු පැටවුන් විකිණීමට අවසර නොලැබේ.


























