2026 වසරේ මුල් මාස හය තුළ ජල ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකර, දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. සාමාන්‍යයෙන් පවතින මිල සූත්‍රයට අනුව සෑම මාස හයකට වරක්ම ජල ඒකකයක පිරිවැය සමාලෝචනය කළ යුතු වුවද, පාරිභෝගික ජනතාවට අමතර මූල්‍ය බරක් පැටවීම වැළැක්වීමේ අරමුණින් රජය මෙම සහනදායී පියවර ගෙන තිබේ.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වත්මන් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේදී, පවතින ආදායම් මට්ටම යටතේම ආයතනයේ සමස්ත මෙහෙයුම් වියදම් පියවා ගැනීමට හැකි බව තහවුරු වී ඇත. ඒ අනුව, මූල්‍යමය වශයෙන් ස්ථාවර මට්ටමක පවතින බැවින් ජල ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පාලනාධිකාරිය පෙන්වා දෙයි. මෙම තීරණය හේතුවෙන් වසරේ පළමු භාගය පුරාම පෙර පැවති ගාස්තු ක්‍රමයම නොවෙනස්ව ක්‍රියාත්මක වනු ඇත.

























