නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ නියෝජිත පිරිස, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. දෙරට අතර පවතින දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍යය අවබෝධය වර්ධනය කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.තාක්ෂණික දියුණුව රටක අනාගත සංවර්ධනයට දායක වන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එමෙන්ම, මහජනතාව සමඟ නිරන්තර සන්නිවේදනයක යෙදෙමින් ඔවුන් මුහුණ දෙන දෛනික ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.මෙම හමුවේදී ගෝලීය අර්බුද හමුවේ දෙරටට මුහුණ දීමට සිදුවන අභියෝග, ආර්ථික සහයෝගීතාව මෙන්ම ඉන්දීය ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින විභවයන් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කෙරිණි.



























