අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (22) දින වරෙන්තු නිකුත් කරනු ලැබීය. තානාපති කාර්යාලයක් සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින අතර නඩුවට අදාළ ලිපිගොනු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි. එසේම, පෙර නඩු දිනයේදී මෙම නඩුවේ ඇපකරුවන්ට නොතීසි යවා තිබූ අතර, අද දින අධිකරණයේ පෙනී සිටි එම ඇපකරුවන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි අවවාද කරනු ලැබීය.අමෙරිකානු ඩොලර් 332,000ක පමණ මුදලක් වංචා කළ බවට හිටපු තානාපතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු දැනට අධිකරණය මගහැර සිටින බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට පෙන්වා දී ඇත.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර, නඩුව නැවත දෙසැම්බර් මස 9 වන දින කැඳවීමට නියම කළේය.























