දිවයිනේ කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු විවිධත්වයක් පෙන්නුම් කරමින්, සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, සමහර ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමේ හැකියාව පවතී.මේ අතර, පවතින දැඩි නියඟය හේතුවෙන් ත්‍රිකුණාමලය, කන්තලේ ප්‍රදේශයේ කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇති අතර, එය කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ විශේෂයෙන්ම මීකිරි කර්මාන්තය ඇතුළු පශු සම්පත් ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපා ඇත. මීට අමතරව, උග්‍ර වියළි කාලගුණයත් සමඟ මොරගහකන්ද කළුගඟ ජලාශයේ ජල මට්ටම පහළ යාම නිසා වසර 12කට පසු පැරණි පල්ලේගම නගරයේ කපුකොටුව රජමහා විහාරස්ථානය ඇතුළු යටවී තිබූ නටබුන් යළි මතුවෙමින් තිබේ.මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ අවවාද නිකුත් කරමින් කාලගුණ විද්‍යාව පෙන්වා දෙන්නේ මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ රළ මීටර් 2.5ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ සහ ඒවා ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බවයි.එමෙන්ම, කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.ඒ නිසා අදාළ මුහුදු තීරයන්හි ධීවර හා නාවික කටයුතුවල නිරතවන්නන් මෙන්ම වෙරළබඩ ජනතාවද දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.



























