ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව, සෙසු ප්රදේශවලද පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකිය.මෙම වැසි සමග බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.



























