රුපියල් හතළිස්දහසක මුදලකට වයස අවුරුදු දෙකක දැරියක අලෙවි කිරීමේ අමානුෂික පුවතක් කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ජාවාරමට සම්බන්ධ වූ දැරියගේ මව, ඇයගේ අනියම් සැමියා සහ දැරිය මුදලට ගත් කාන්තාව ඊයේ (26) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ 27 හැවිරිදි මව සහ ඇයගේ 31 හැවිරිදි අනියම් සැමියා එක්ව මෙම දැරිය රුපියල් 50,000කට විකිණීමට මුලින් සැලසුම් කර තිබූ බවයි. පසුව එය රුපියල් 40,000ක මුදලකට එකඟ වී ඇති අතර, 36 හැවිරිදි කාන්තාවක විසින් දැරිය මෙලෙස මිල දී ගෙන තිබේ. ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයාට ලැබුණු තොරතුරක් මත පොලිසිය කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට පත් විය.මවිතයට කරුණ නම්, සිය ලෙයින් උපන් දරුවා විකුණා ලබාගත් මුදලින් මෙම යුවළ පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් සහ තවත් භාණ්ඩ කිහිපයක් මිල දී ගෙන තිබීමයි. ජංගම දුරකථනය සඳහා රුපියල් 15,000ක් ද, අනෙකුත් භාණ්ඩ සඳහා රුපියල් 10,000ක් ද වැය කර ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.දැරිය අලෙවි කළ 27 හැවිරිදි මවට වයස අවුරුදු හතරක තවත් දියණියක සිටින බව පොලිසිය පවසයි. දරුවන් ආරක්ෂා කළ යුතු මව්වරුන් මෙවැනි දරුණු අපරාධවලට පෙළඹීම ප්‍රදේශවාසීන්ගේ දැඩි කම්පනයට හේතු වී තිබේ. ධර්මපුරම් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.නූතන සමාජය තුළ දරුවන් වෙළඳ භාණ්ඩ බවට පත්වීමේ මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. සැකකරුවන් තිදෙනා ලබන බදාදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් පවතියි.

























