රජරට විශ්වවිද්‍යාලය තුළ පවතින උග්‍ර නේවාසිකාගාර හිඟයට කඩිනම් සහ ස්ථිරසාර විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බල කරමින් සරසවි සිසුන් අද (19) පස්වරු 4:00ට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරත වීමට කටයුතු සූදානම් කර තිබේ. “රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!” යන ප්‍රධාන තේමාව පෙරදැරි කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.ශිෂ්‍ය සංගම් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමස්ත සිසුන් 8,000ක පිරිසෙන් අඩකට ආසන්න, එනම් 4,000කට ආසන්න පිරිසකට මේ වන විට කිසිදු නේවාසිකාගාර පහසුකමක් නොමැති බවයි. මේ හේතුවෙන් සිසුන්ට බාහිර නවාතැන්පොළවල් සෙවීමට සිදුව ඇති අතර, පවතින අධික පිරිවැය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික හා මානසික දුෂ්කරතාවලට මුහුණ පා සිටී. මෙම තත්ත්වය සිසුන්ගේ දෛනික අධ්‍යාපන කටයුතුවලට ද දැඩි බාධාවක් වී ඇති බව ඔවුහු පවසති.පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද සිසුන්ගේ මෙම මූලික අවශ්‍යතාවය ඉටුකර දීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට සිසුන් චෝදනා කරයි. තමන්ගේ මෙම මූලික සහ සාධාරණ අයිතිවාසිකම් දිනාගන්නා තෙක් අරගලය අත්නොහරින බව පවසන ශිෂ්‍ය ක්‍රියාකාරීන්, වගකිවයුතු අංශ වහාම මැදිහත් වී මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව අවධාරණය කර සිටී.

























