දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කර මෙරටට සාමය උදාකර දීමට හැකිවී ඊයේ (18) දිනට වසර 17ක් සපිරුණා. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙවර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම නිල රාජ්‍ය උත්සවයේදී, එතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් රට වෙනුවෙන් දිවිපිදූ වීරයන්ට තම ගෞරවය පුද කරනු ලැබුවා.මෙවර සැමරුම් උත්සවයේ විශේෂත්වය වූයේ, මව්බිමේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ට මෙන්ම එම වීරයන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි වශයෙන් සහභාගී වීම සඳහා විශේෂ ඉඩකඩක් වෙන්කර තිබීමයි. නිල ප්‍රොටෝකෝලයන්ට එහා යමින්, තම සමීපතමයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයට මෙහිදී ප්‍රමුඛතාවක් ලබා දී තිබීම කැපී පෙනුණා.යුද බියෙන් තොර නිදහස් රටක් වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ සමස්ත සන්නද්ධ බලකායන් සිහිපත් කෙරුණු මෙම උත්සවය, අතිශය ගෞරවාන්විත මෙන්ම සංවේදී ස්වරූපයකින් නිමාවට පත්වූණා. පසුගිය වසර 17ක සාමකාමී ගමන්මග තුළ රට වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම් අගය කිරීම මෙවැනි රාජ්‍ය මට්ටමේ සැමරුම් හරහා තවදුරටත් තහවුරු කෙරෙනවා.

























