දිවයිනේ නිරිතදිග කලාපයේ පවතින වර්ෂාපතනය අද (02) සවස් කාලයේ සිට තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇති වේ. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇද හැලීමේ ප්‍රවණතාවක් පවතී.මීට අමතරව ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. පවතින කාලගුණ තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, ත්‍රිකුණාමලය, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි.විශේෂ දැනුම්දීම: ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























