පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදුකරන ලදැයි කියන ප්‍රකාශ කිහිපයක සංස්කරණය නොකළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ නාලිකා ප්‍රධානීන්ට නියෝග කර තිබේ. ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම පියවර ගෙන ඇත.අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 අගෝස්තු 27 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශන ක්‍රියාත්මක වන බවයි. මෙම සිද්ධියට අදාළව මීට පෙර විකාශය වූ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (CD) මේ වන විටත් තමන් භාරයට ගෙන ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.



























