ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කිරීම සහ එහි සේවිකාවන්ට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ (CPA) විශේෂ අවධානය යොමු වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් කරන ලද දැනුම්දීමකට අනුව, මෙම තත්ත්වය පිළිබඳව තමන් සමීපව නිරීක්ෂණය කරන බව එම සංගමයේ මහලේකම් ස්ටීවන් ටුවිග් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.හිටපු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමේදී නීතිමය ක්‍රමවේද උල්ලංඝනය වී ඇති බවත්, කථානායකවරයා තමා සතු නොවන බලතල පාවිච්චි කරමින් එම තීරණය ගෙන ඇති බවත්ය. මීට අමතරව, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු සහ පාර්ලිමේන්තු තොරතුරු පද්ධති අංශයේ නිලධාරිනියකට සිදු වූ හිරිහැර සම්බන්ධ පරීක්ෂණ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද එම සංසදය සිය විරෝධය පළ කර තිබේ.මෙම සිදුවීම් පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පවසන පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමය, නියෝජ්‍ය මහලේකම්වරයාගේ කාරණය සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බව සඳහන් කරයි. ආයතනික ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින්, අදාළ නීතිමය තීන්දු ලැබෙන තෙක් මෙම ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරන බව එම සංගමය වැඩිදුරටත් දන්වා ඇත.

























