ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෘත්තීයවේදීන් ඇතුළු පුද්ගලයන් 3,000කට අධික පිරිසක් මෑත කාලීනව සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම වට්සැප් (WhatsApp) ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළු වන හැකර්වරුන්, එම ගිණුම්වල හිමිකරුවන් ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ හිතවතුන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇත. පරිගණක සාක්ෂරතාව පිළිබඳ අඩු අවධානයක් දක්වන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම සූක්ෂ්ම වංචා මෙහෙයවනු ලබයි.මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාලයේ සෙසු පිරිස් සොයා පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. ජංගම දුරකථන වෙත ලැබෙන සැකකටයුතු ‘ලින්ක්’ (Links) හෝ ලිපිගොනු (Files) විවෘත කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි. තාක්ෂණය භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් පසුවීම මෙවැනි සයිබර් උගුල්වලින් බේරීමට ඇති හොඳම මඟ බව බලධාරීන් පෙන්වා දෙයි.කිසියම් හිතවතෙකුගේ දුරකථන අංකයකින් හෝ සමාජ මාධ්‍ය ගිණුමකින් මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණහොත්, ඒ පිළිබඳව අදාළ පුද්ගලයා සෘජුව දුරකථනයෙන් අමතා තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. කිසිදු විටෙක තහවුරු කර නොගත් ඉල්ලීම් මත මුදල් බැර නොකරන ලෙසත්, ජංගම දුරකථන භාවිතයේදී පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

























