විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සඳහා නිවැරදි සංඛ්‍යාලේඛන අත්‍යවශ්‍ය වුවද, වත්මන් රජය සත්‍ය තත්ත්වයෙන් බැහැර වූ දත්ත මත පදනම්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. හම්බන්තොට, තිස්සමහාරාම ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයේදී බෝගහපැලැස්සේ සෝමිස්සර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මෙරට ජනගහනයෙන් 30-40%ක් පමණ දැනටමත් දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන බැවින්, පවතින යථාර්ථය නිවැරදිව වටහාගෙන ජනතාව වෙනුවෙන් සංවේදී වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා නිකුත් කර ඇති දත්ත ද්වේෂසහගත ලෙස වැරදි බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එක් පුද්ගලයෙකුට මාසයකට ජීවත් වීම සඳහා කොළඹට රුපියල් 18,000ක්, ගම්පහට රුපියල් 17,908ක් සහ සාමාන්‍යයෙන් රුපියල් 16,990ක් ප්‍රමාණවත් බවට දක්වා ඇති දත්ත හාස්‍යජනක බවත්, දිනෙන් දින රුපියල අවප්‍රමාණය වන වටපිටාවක මෙම මුදලින් මාසයක් පුරා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේදැයි රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවත් ඔහු ප්‍රශ්න කළේය.ආර්ථික පීඩනය හේතුවෙන් ගොවි, ධීවර, වතු සහ නාගරික සාමාන්‍ය ජනතාව පමණක් නොව මධ්‍යම පාන්තිකයින් ද අද වන විට දැඩි අසහනයකට පත්ව සිටිති. මෙවැනි තත්ත්වයක් තුළ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට පමණක් ගැති නොවී, මෙරට ලක්ෂ 220ක් වන ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට වහාම මැදිහත් විය යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. දත්ත පද්ධති නූතනකරණය කරමින් සත්‍ය තොරතුරු මත පදනම් වූ විශේෂිත සහන වැඩපිළිවෙළක් දුප්පත් ජනතාව වෙනුවෙන් වහාම සකස් කළ යුතු බවද ඔහු පැවසීය.විපක්ෂයේ සිටියදී ඉන්ධන මිල සූත්‍ර සහ බදු පිළිබඳව සංවේදී ලෙස කතා කළ වත්මන් පාලකයින්, බලයට පත්වීමෙන් පසු තෙල් මත උපරිම බදු පනවා ඇති බව විපක්ෂ නායකවරයා තවදුරටත් මතක් කර දුන්නේය. ඇමරිකාව වැනි රටවල් පවා පාරිභෝගිකයා රැකීම සඳහා ඉන්ධන බදු ඉවත් කිරීමට සූදානම් වන පසුබිමක, ලංකාවේද ඉන්ධන මත පනවා ඇති බදු වහාම ඉවත් කර සහන ලබා දිය යුතු බවත්, රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා කඩිනම් සාර්ව ආර්ථික ක්‍රමෝපායන් දියත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

























