වත්මන් ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික උවදුරකට මුහුණ දෙමින් සිටින බවත්, රටේ පොදු ආර්ථිකය මෙන්ම ජනතාවගේ පුද්ගලික ආර්ථික මට්ටම ද බරපතළ ලෙස කඩා වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට, කටුවන හඳුගල විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, රට තුළ පවතින්නේ සත්‍යයෙන් තොර ‘පච දේශපාලනයක්’ බවට ද චෝදනා කළේය.විදේශ සංචිත හිඟකම සහ අපනයන ක්ෂේත්‍රයේ පවතින මන්දගාමී ස්වභාවය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මේ හේතුවෙන් තරුණ පරපුරට රැකියා අහිමි වීමේ තර්ජනයක් උද්ගතව ඇතැයි ද පැවසීය. ආයෝජකයන්ට හිතකර වටපිටාවක් නොමැතිකමින් සෘජු විදේශ ආයෝජන රටට අහිමි වෙමින් පවතින බව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා, දීර්ඝ කාලීන යුද්ධයකින් බැට කෑ වියට්නාමය වැනි රටවල් පවා අද වන විට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගෙන ඇති අයුරු අපට කදිම නිදසුනක් බව ද සඳහන් කළේය.පොහොර මිල අධික ලෙස ඉහළ යාම සහ අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවගේ ගෘහ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින මර්දනකාරී පිළිවෙත වෙනුවට සංවේදී පාලනයක් සහ නව ආර්ථික උපායමාර්ගයක් රටට අවශ්‍ය බවත්; නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය මෙන්ම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවත් ඔහු පැවසීය. එමෙන්ම තාක්ෂණික ඥානය සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය රටේ ඉහළ පන්තියට පමණක් සීමා නොකර පොදු ජනතාවට ද සමසේ උරුම කර දිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



























