අපේ රටේ පූර්ව ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ගුණාත්මක හා වෘත්තීය මට්ටමකට ඔසවා තැබීමට රජය සෘජුවම මැදිහත් වීමට තීරණය කර ඇත. 2026 ජාතික මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන සතියට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. පූර්ව ළමාවිය අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලිකම අදියර ලෙස සලකා, මේ වන විට එම ක්ෂේත්‍රයේ සේවය කරන කිසිදු ගුරුවරියක් සේවයෙන් ඉවත් නොකර, ඔවුන් සියලුදෙනාම සුදුසුකම් ලත් වෘත්තිකයන් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේද සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී හෙළි වූයේ, දැනට පවතින අවිධිමත් පෙර පාසල් සේවාව රජය වගකියන නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත සංවෘත සේවාවක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. මෙහිදී පෙර පාසල්වල පවතින යටිතල පහසුකම් හා සනීපාරක්ෂක ගැටලු විසඳීමට රජයේ මැදිහත්වීම සිදුවන අතර, මානසික විවිධත්වයන් සහිත දරුවන් සාමාන්‍ය සමාජ ක්‍රියාවලියට ගලපා ගැනීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන ලදී.දිවයින පුරා දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පෙර පාසල් ගුරුවරුන් 600කට අධික පිරිසක් එක්ව සිටි මෙම අවස්ථාවේදී, ගුරුභවතුන්ගේ වෘත්තීය ගෞරවය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දායකත්වය අගය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය නැවතත් සහතික කළාය. නව ප්‍රතිසංස්කරණ තුළින් පෙර පාසල් අධ්‍යාපනය දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන ශක්තිමත් පදනමක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින් පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.























