රාජ්‍ය සේවය තුළ පවතින දූෂණ වංචා අවම කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතු පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ජාතික මට්ටමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන ඇත. ‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ලෙස නම් කර ඇති මෙම ජාතික මෙහෙයුම ජූලි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා සතියක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ මඟපෙන්වීම මත, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සියලු රාජ්‍ය ආයතන වෙත නිල චක්රලේඛයක්ද මේ වන විට නිකුත් කර තිබේ.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පෞද්ගලික වාසිවලට වඩා පොදු මහජන යහපතට මුල්තැනක් දෙන, ආචාරධර්මවලට ගරු කරන ආදර්ශමත් රාජ්‍ය සේවකයින් පිරිසක් නිර්මාණය කිරීමයි. කෙටි කාලීන වැඩසටහනකට පමණක් සීමා නොවී, ඉදිරියටත් රාජ්‍ය ආයතන තුළ මෙම සුපිළිපන් සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව වී ඇත. එමගින් රාජ්‍ය පරිපාලනය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය වර්ධනය කිරීම සහ ආයතනික ගුණාත්මකභාවය ඉහළ නැංවීම සිදුවනු ඇත.සමස්ත රාජ්‍ය සේවා යාන්ත්‍රණයම ආවරණය වන පරිදි, නීතිගරුක රාජ්‍ය සේවයක්, ඩිජිටල්කරණය වූ විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහ මානව ගරුත්වය සුරකින පරිසරයක් ගොඩනැගීම සඳහා මෙම වැඩපිළිවෙල විවිධ තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක වේ. ඒ ඔස්සේ තිරසාර හරිත සංස්කෘතියක් සහ දූෂණයෙන් තොර පරිපාලන ව්‍යූහයක් නිර්මාණය කිරීම හරහා රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් පදනමක් දැමීම රජයේ ප්‍රමුඛතම අභිලාෂයයි.























