මෙරට ක්‍රියාත්මක සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මේ වසර අවසන් වීමට ප්‍රථම රජයේ නිසි ලියාපදිංචිය සහිත ප්‍රමිතිගත ආයතන බවට පත්කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කළේ, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව මාර්ගගත පද්ධතියක් (Online Portal) හඳුන්වා දෙන බවයි. දැනට බොහෝ මධ්‍යස්ථාන නිසි අධීක්ෂණයකින් තොරව ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාම නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවදානම සැලකිල්ලට ගෙන පවතින නීතිමය ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කිරීමට ද මෙහිදී අවධානය යොමුව තිබේ.දැනට පවතින ක්‍රමය අනුව පෙර පාසල් නියාමනය පළාත් සභා මට්ටමින් සිදුකෙරෙන අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය පළාත් පරිවාස දෙපාර්තමේන්තුව හරහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධීක්ෂණයට යටත්ව සිදු වේ. මෙම පාලන යාන්ත්‍රණය වඩාත් විධිමත් කරමින් හිමිකරුවන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද නියමිත ප්‍රමිතීන් පිළිබඳව දැනුවත් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ සහ මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර යන මහත්මීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩපිළිවෙළ හරහා දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ මූලික අරමුණයි.
























