රජයේ මුදල් වැරදි ගිණුම්වලට බැරවීම සහ විදේශ මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වත්මන් පාලනය සෘජුව වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවක ගනුදෙනුවක් කිරීමේදී දැඩි ලෙස ප්‍රශ්න කරන වටපිටාවක, පෞද්ගලික බැංකුවකින් රුපියල් බිලියන 13ක් පිටවන තෙක් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ හයක මුදලක් වෙනත් ගිණුමකට යන තෙක් බලධාරීන් නිහඬව සිටීම දැඩි විවේචනයට ලක්විය යුතු බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් දේශපාලන පත්වීම්ලාභීන් බැවින්, ඩොලර් මිලියන 2.5ක් වැනි විශාල මුදලක් ගිය ගිණුම දන්නේ නැතැයි පවසා රජයට අත සෝදාගත නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රශ්න කළේය. අතීතයේදී ද්විත්ව පුරවැසිභාවය ගැන රාජපක්ෂ පවුලට පමණක් ඇඟිල්ල දිගු කළ පාර්ශවයන්, දැන් සිය පාලනය යටතේ එවැනි තත්ත්වයක් පවතින්නේ දැයි රටට පැහැදිලි කළ යුතු බව ඔහු සඳහන් කරයි. යම් හෙයකින් අදාළ නිලධාරියා ද්විත්ව පුරවැසියෙකු බව තහවුරු වුවහොත්, ඔහු පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත්, ඒ පිළිබඳව ජාතික ජන බලවේගය වගකීම භාරගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
























