පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා වූ ඛේදවාචක පහකට මුහුණ දුන් මෙරට ජනතාව, මේ වන විට හයවන ඛේදවාචකය ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අසත්‍ය දේශපාලනයට හසුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු කියා සිටියේ විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් රජය, අද වන විට බදු පිට බදු පටවමින් ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බවයි. දේශපාලන වේදිකාවේදී ඩොලර් මිලියන 23ක් රටට ගෙන එන බවට ප්‍රකාශ කළ ද එය මුසාවක් බවත්, එවැනි මුදලක් ඇත්නම් රට රවටන්නේ නැතිව දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසත් ඔහු රජයට අභියෝග කළේය.රට බංකොලොත් කළ පුද්ගලයින්ට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩුවකින් ඔවුන් මෙරට ලක්ෂ 220ක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු වී ඇති බව ද විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය. එසේ රට බංකොලොත් කළ පිරිස් අද වන විට රටේ සංවර්ධන ක්‍රියාවලියට ද බාධා පමුණුවන බව ඔහු චෝදනා කරයි. සමගි ජන බලවේගයේ මූලික අරමුණ වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් රටේ සංවර්ධනය වේගවත් කර ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.දේශීය ආර්ථිකය නගා සිටුවීම සඳහා අපනයන කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම මෙන්ම තරුණ පරපුරට නවීන තාක්ෂණික දැනුම ලබා දීම අත්‍යවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කරමින්, මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එකට මුසු වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට තම පාර්ශවය සූදානම් බව ද හෙතෙම අවධාරණය කළේය.



























