මහනුවර ජාතික රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 425ක් වටිනා අධි තාක්ෂණික වෛද්‍ය යන්ත්‍ර දෙකක් රෝහල වෙත පිරිනමා ඇත. රජයේ ක්‍රමවත් සෞඛ්‍ය සැලසුමකට අනුව ලබාදුන් මෙම උපකරණ පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණු අතර, එමගින් මධ්‍යම පළාතේ මෙන්ම දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට රෝහල් පාලනාධිකාරියට අවස්ථාව උදා වේ.මෙහි විශේෂිතම උපකරණයක් වන්නේ රුපියල් මිලියන 208ක් වටිනා ESWL (Extracorporeal Shock Wave Lithotripsy) යන්ත්‍රයයි. මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ගල් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකින් තොරව, ධ්වනි තරංග භාවිත කරමින් එම ගල් කුඩා කැබලිවලට කුඩු කර මුත්‍රා මාර්ගයෙන් පිටවීමට සැලැස්වීම මෙහි තාක්ෂණයයි. මීට පෙර පැවති යන්ත්‍රය අක්‍රිය වීම නිසා ඇණහිට තිබූ මෙම ප්‍රතිකාර සේවාව නව යන්ත්‍රය ස්ථාපනය කිරීමත් සමඟ වඩාත් සුරක්ෂිතව සහ ගුණාත්මකව යළි ආරම්භ කිරීමට හැකිවී තිබේ.මීට අමතරව, වසර තුනකට අධික කාලයක් අක්‍රියව පැවති DSA (Digital Subtraction Angiography) යන්ත්‍රය වෙනුවට රුපියල් මිලියන 217ක වටිනාකමකින් යුත් අතිනවීන ඩිජිටල් යන්ත්‍රයක් ද රෝහලට හිමිව ඇත. රුධිර වාහිනී සහ සනාල රෝග හඳුනා ගැනීමට මෙන්ම පිළිකා රෝග ඇතුළු සංකීර්ණ රෝගී තත්ත්වයන් රැසකට ප්‍රතිකාර කිරීමට මෙමගින් පහසුකම් සැලසේ. මෙම නවීන තාක්ෂණය භාවිත කිරීමෙන් රෝගීන්ට වේදනා රහිතව සහ ඉතා නිවැරදිව රෝග විනිශ්චය ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.මෙම අධි තාක්ෂණික උපකරණ යුගළය මහනුවර ජාතික රෝහලට ලැබීම, මෙරට පොදුජන සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී ජයග්‍රහණයකි. පෞද්ගලික අංශයෙන් විශාල මුදලක් වැය කර ලබාගත යුතු මෙම වටිනා ප්‍රතිකාර සේවාවන් දැන් රජයේ රෝහලක් තුළින් නොමිලේ ලබා ගැනීමට මහජනතාවට හැකි වීම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

























