සහනාධාර මත යැපීම වෙනුවට ස්වශක්තියෙන් නැගී සිටින සමාජයක් – අමාත්‍ය ආනන්ද විජේපාල

සැමදා සහනාධාර මත යැපෙන ජනතාවක් වෙනුවට තමාගේම දෙපයින් නැගී සිටිය හැකි ශක්තිමත් ජන සමාජයක් නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කය බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුඩා පරිමාණ ගොවීන් සවිබල ගැන්වීම සහ කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් ‘සාප්’ (SAPP) ව්‍යාපෘතියේ ප්‍රතිලාභ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.​නිකවැරටිය, මහගිරිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැති මෙම උත්සවයේදී සංකේතාත්මකව ප්‍රතිලාභීන් වෙත ආධාර බෙදාදීම සිදු විය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජය විසින් ලබාදෙන මෙවැනි ව්‍යාපෘති හරහා ගොවි ජනතාවට සහ ව්‍යවසායකයින්ට තිරසාර ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර දෙන බවයි.​මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. ඒ අනුව මිරිස් වගාවේ නිරත ගොවීන් 16,200ක්, ගෙවතු වගාවන් හරහා ස්වයංපෝෂිත වීමට උත්සාහ කරන පවුල් 800ක් සහ නවෝත්පාදන අදහස් සහිත තරුණ ව්‍යවසායකයින් 1,200ක් ඉලක්ක කර ගනිමින් මෙම ආධාර පිරිනැමේ.​සාම්ප්‍රදායික සහනාධාර ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස්, සාර්ථක නිෂ්පාදකයින් පිරිසක් රටට දායාද කිරීම මෙම වැඩපිළිවෙළේ සැබෑ අරමුණයි. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව කෘෂි ව්‍යවසායකත්වය කෙරෙහි යොමු කිරීම හරහා ඉදිරියේදී රට තුළ ස්වයං රැකියා උත්පාදනය දිරිමත් වන බවත්, එමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,113

Leave A Reply

Your email address will not be published. Required fields are marked *