ඉදිරියට එළඹෙන මහ කන්නයේදී වී වගා කරන සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් කීරි සම්බා සහ 10%ක් සම්බා වශයෙන් වගා කිරීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බේත්කෑව වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමිනි.රට තුළ පවතින සම්බා සහ කීරි සම්බා සහල් සඳහා වන ඉහළ ඉල්ලුම සපුරාලීම මෙම නව තීරණයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා පැවසීය. වර්තමාන වෙළෙඳපොළ තුළ කීරි සම්බා සඳහා 15%ක ඉල්ලුමක් පැවතියද, දේශීයව එම සහල් වර්ග නිෂ්පාදනය කෙරෙන්නේ 15%ක පමණ අවම ප්‍රතිශතයකිනි. මෙම සහල් හිඟයට විසඳුමක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට සිදුවූ බවත්, එය වළක්වා ගනිමින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම අපේක්ෂිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මෙම ක්‍රමවේදය ඔස්සේ සහල් වෙළෙඳපොළ තුළ පවතින අසමතුලිතතාවය මගහරවා ගැනීමටත්, පාරිභෝගිකයින්ට අවශ්‍ය සහල් වර්ග නිරන්තරයෙන් ලබා දීමටත් කටයුතු යොදා ඇත. ගොවි ජනතාව දිරිමත් කරමින් සහ දේශීය වී වගාව ක්‍රමවත් කිරීම හරහා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, ආනයනික සහල් මත යැපීම අවම කිරීමටත් අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.























