මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට නව නිපුණතා සංවර්ධන වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවා ධාරිතාව ඉහළ නැංවීමේ විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේදී මෙහි මංගල වැඩමුළුව පැවැත්වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. වෛද්‍යවරුන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉලක්ක කරගත් මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.​මෙම නිපුණතා සංවර්ධන වැඩමුළුව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි. මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන්ට ලබාදෙන සත්කාරයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම හා විශේෂඥතාව නවීකරණය කිරීමත් මෙහි මූලික අරමුණයි. ප්‍රධාන රෝහල් සහ පර්යන්ත සෞඛ්‍ය මධ්‍යස්ථාන අතර පවතින සේවා පරතරය අවම කිරීම මෙහිදී විශේෂ අවධානයට යොමු විය.​වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ වළක්වා ගත හැකි සෑම මාතෘ හා ළදරු මරණයක්ම වළක්වා ගැනීම සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛ වගකීමක් බවයි. මාතෘ මරණ අවම කිරීමේදී ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ දායකත්වය, බිළිඳුන්ගේ අනතුරුදායක සංඥා හඳුනාගැනීම සහ ප්‍රසව කාලයට පෙර ඇතිවන අවදානම් තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳව මෙහිදී ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. දැනුමෙන් සන්නද්ධ සෞඛ්‍ය සේවාවක් තුළින් මහජන විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.​සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳව ද අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, එම පුරප්පාඩු පිරවීම සඳහා සැලසුම්ගත බඳවා ගැනීමේ ක්‍රියාවලියක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව පැවසීය. එමගින් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් වනු ඇති බවත්, සෑම මවකට සහ දරුවෙකුටම සමාන ගුණාත්මක සත්කාරයක් සහතික කිරීමට රජය කැපවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.​මෙම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් ද සොයිසා, ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපතිනී මහාචාර්ය රුවන්ති පෙරේරා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. ක්ෂේත්‍රයේ නිපුණතාව වර්ධනය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ ජනතාව වෙත සෘජුවම සමීප කරවීමට රෝහල් කාර්ය මණ්ඩලය කැපවිය යුතු බව මෙහිදී අවසාන වශයෙන් සාකච්ඡා විය.

What's your reaction?

Related Posts

1 of 1,120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *