රටක් සාර්ථක ලෙස ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී හුදු භෞතික සංවර්ධනය පමණක් තවදුරටත් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මීළඟ වසර සඳහා වන අයවැය ප්‍රතිපාදන සහ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචන සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පළ කළේය. රටේ සිදුවන සංවර්ධන වැඩපිළිවෙළවල් සැමවිටම දේශීය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ එකට බැඳී පැවතිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය මට්ටමින් පිහිටි ආගමික ස්ථානවල යටිතල පහසුකම් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ යටතේ විහාරස්ථානවල දානශාලා ඉදිකිරීම, පානීය සහ වෙනත් ජල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන සියලු ආගම්වල දහම් පාසල් නංවාලීම ගැන සාකච්ඡා කර ඇත. මීට අමතරව, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ආගමික ස්ථාන යළි පිළිසකර කිරීම සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක ආගමික ස්ථාන සූර්ය බලශක්තියෙන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේදී මතුව ඇති ඉඩම් ගැටලු විසඳීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කර තිබේ.තවද, සමකාලීන කලාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම කලාකරුවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් ලබන වසර සඳහා නව අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙම හමුවේදී මූලික අවධානයක් යොමු වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

























