රෝමයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ආහාර දැක්මේදී අඛණ්ඩව තෙවන වරටත් “හොඳම ආහාර” සම්මානය ශ්‍රී ලංකාවට

‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් කුසලාන 2026’ තරගාවලියේදී තානාපති කාර්යාල කණ්ඩායමට තෙවන ස්ථානය සහ හොඳම කණ්ඩායම් ජර්සිය සඳහා හිමි සම්මානය​ඉතාලියේ රෝමයේ රෝම ක්‍රිකට් පිටියේදී 2026 සැප්තැම්බර් 26 වන දින, රෝමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය, UISP Roma ආයතනය සහ ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ අනුග්‍රහය ඇතිව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් කුසලාන 2026 සමඟ සමගාමීව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ආහාර දැක්මේදී “හොඳම ආහාර” සඳහා වන ප්‍රථම ස්ථානය අඛණ්ඩව තෙවන වරටත් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාල කණ්ඩායම Rome International–UniCassino කණ්ඩායම සමඟ එක්ව ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් අතර, “හොඳම කණ්ඩායම් ජර්සිය” සඳහා වන කුසලානයද හිමිකර ගත්තේය.​මෙම අවස්ථාවට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව සහභාගී වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, ක්‍රිකට් සමාජ සහ විවිධ රටවල ක්‍රිකට් ලෝලීන් ඇතුළු පුළුල් පිරිසක් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.​ක්‍රීඩා පිටියේදී “Gazzetta Diplomatica” පුවත්පත සමඟ අදහස් දක්වමින් තානාපති සත්‍ය රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, සියලුම පරම්පරාවල සහ සමාජ ස්ථරවල ජනතාව එකතු කරන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකාව තුළ විශේෂ ස්ථානයක් ගන්නා බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සත්කාරකත්වය දැක්වූ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉතාලි ජාතික කණ්ඩායම සිය මංගල ලෝක කුසලාන තරගයට සහභාගී වීම ඇතුළුව ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එසේම, 1984 වසරේ ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ ශ්‍රී ලාංකික ෆ්‍රැන්සිස් අල්ෆොන්සස් ජයරාජා මහතාටද ඔහු සිය ප්‍රණාමය පුද කළේය.​රෝමයේ “Suresh Food & Drinks” ආපන ශාලාවේ හිමිකරු වන ශ්‍රී ලාංකික සුරේෂ් කුකුල්කොටුවගේ මහතා විසින් මෙවර සපයන ලද ශ්‍රී ලාංකික කුටිය මගින් නරඹන්නන්ට කොත්තු, චිකන් ෆ්‍රයිඩ් රයිස්, සීනි සම්බෝල සමඟ පොල් රොටි, එළවළු රෝල්ස්, චිකන් පැටිස් සහ වටලප්පන් යන ආහාර වර්ග ලංකා තේ සමඟ පිරිනමන ලදී. ආහාර වලට අමතරව, තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, මනස්කාන්ත ගමනාන්ත, වෙරළ තීරයන්, වනජීවී සහ සුප්‍රකට ආගන්තුක සත්කාර පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කරමින්, රට විවිධ වූ සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස හඳුන්වා දෙන ලදී.​ක්‍රීඩා පිටියේදී තානාපති කාර්යාල කණ්ඩායම මුළු තරගාවලිය පුරාම විශිෂ්ට කණ්ඩායම් හැඟීමක් සහ ක්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කරමින් තෙවන ස්ථානය දිනාගත්තේය. තානාපති කාර්යාලය විසින් නිර්මාණය කරන ලද සම්මානනීය ජර්සිය – ශ්‍රී ලංකා ජාතික කොඩියේ ආත්මය සහ “NEternal City” (සදාකාලික නගරය) හි සන්ධිස්ථාන එකතු කරමින්, ‘කොළඹ රෝමය හමුවීමක්’ ලෙස මරූන් සහ රන් වර්ණ සිංහයෙකු සහ නෙළුම් මලක් සමඟ ඒකාබද්ධ කර තිබුණි.​රෝමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් 2017 වසරේදී ආරම්භ කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් කුසලානය මගින්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, රෝමය පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධාන, ක්‍රිකට් සමාජ සහ ඉතාලියේ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාව අතර ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩාශීලීත්වය සහ අන්‍යෝන්‍ය සබඳතා ප්‍රවර්ධනය කරයි. මේ වසරේ සහභාගී වූ කණ්ඩායම් පහ වූයේ බංගලාදේශ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, රෝමය පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ ආයතන නියෝජනය කරන කණ්ඩායමක්, රෝමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය සහ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණි තරුණ සිසුන්ගෙන් සමන්විත රෝම ජාත්‍යන්තර-කැසිනෝ විශ්ව විද්‍යාල (Rome International–University of Cassino) කණ්ඩායමයි.​ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට 2024 වසරේදී මෙම තරගාවලියට සහභාගී වූ අතර, එහිදී ක්‍රිකට් තරගාවලියේ දෙවන ස්ථානය සහ හොඳම ආහාර සඳහා පළමු ස්ථානය දිනාගත්තේය. 2025 වසරේද හොඳම ආහාර ශූරතාව රඳවා ගැනීමට සමත් වූ අතර ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තේය.​ශ්‍රී ලංකාවේ මෙම සාර්ථක සහභාගීත්වය සඳහා දායක වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB), ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින්ට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට තානාපති කාර්යාලය සිය ස්තූතිය පුද කරයි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය, ආහාර පිසීමේ කලාව සහ ක්‍රීඩා සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර මිත්‍රත්වය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

What's your reaction?

Related Posts

1 of 970

Leave A Reply

Your email address will not be published. Required fields are marked *