ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝර්කර් බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය අතර නිල හමුවක් ලන්ඩන් නුවර මාල්බරෝ මන්දිරයේදී පවත්වා තිබේ. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ (COL) 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය බ්‍රිතාන්‍යයේ සිදුකරන නිල සංචාරය අතරතුර මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.මෙහිදී දෙපාර්ශවය අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානය දක්වන අඛණ්ඩ දායකත්වයට සිය කෘතඥතාව පළ කළ අගමැතිනිය, සාමාජික රටවල අභිවෘද්ධිය උදෙසා මහලේකම්වරිය ලබාදෙන සක්‍රීය නායකත්වය ද ඇගයීමට ලක් කළාය.මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේදී දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේද මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම වැනි කාලීන මාතෘකා රැසක් මුල් කරගනිමින් අදහස් හුවමාරු කරගෙන ඇත. තිරසාර සංවර්ධනය සහ සැමට පොදු වූ යහපාලනයක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම ද මෙහිදී නැවතත් තහවුරු කෙරිණි.ශ්‍රී ලංකාවේ මැතිවරණ පාලන කටයුතු, තාක්ෂණික මෙවලම් භාවිතය, මානව සම්පත් සංවර්ධනය සහ දේශගුණික අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය හා උපදේශන සහාය අඛණ්ඩව සැපයීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සූදානම් බව මහලේකම් බොච්වේ මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් පිළිබඳව ද නායිකාවන් දෙපළගේ අවධානය යොමු විය.මෙම වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.

























