ලාල් කාන්තගෙන් නාලිකාවකට එරෙහිව TRC වෙත පැමිණිල්ලක්

තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කරගනිමින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින්, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (22) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් ආයතනයට අයත් රූපවාහිනී නාලිකාවක් මගින් සිදුකළ මෙම කරුණු විකෘති කිරීමට එරෙහිව විකාශන බලපත්‍ර කොන්දේසි යටතේ පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.​මෙම සිදුවීමට අදාළව අමාත්‍යවරයා ඊයේ (21) දිනයේදී ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද කරුණු ඉදිරිපත් කර තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් භාරදුන් වත්කම් ප්‍රකාශය, පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ප්‍රසිද්ධ කර තිබියදී, අදාළ නාලිකාව එය ද්වේශසහගත ලෙස අර්ථකථනය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.​පැමිණිල්ලට අනුව, අදාළ නාලිකාව පසුගිය 16 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් ඇති බවට සාවද්‍ය ගණනය කිරීමක් ඉදිරිපත් කර ඇත. මෙම පුවත පළ කිරීමට පෙර තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට එම මාධ්‍ය ආයතනය කටයුතු නොකළ බව ද කරුණු 18කින් සමන්විත එම පැමිණිල්ලේ සඳහන් වේ.​අදාළ වැරදි පුවත සිරස්තල සහිතව සමාජ මාධ්‍ය සහ ඩිජිටල් අවකාශය පුරා ප්‍රචාරය කිරීම හේතුවෙන් තමන්ගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අවම මාධ්‍ය සදාචාරය පවා උල්ලංඝනය කරමින් ජනතාව තුළ වැරදි ආකල්පයක් ඇති කිරීමට මෙමගින් උත්සාහ කර ඇති බව ලාල් කාන්ත මහතාගේ අදහසයි.​තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා සිය නීතිඥවරයා මාර්ගයෙන් අදාළ නාලිකාව වෙත එන්තරවාසියක් යොමුකළ බව ද ඔහු සිහිපත් කළේය. විකාශන බලපත්‍රයක අඩංගු නීතිමය ප්‍රතිපාදන සහ කොන්දේසි අමුඅමුවේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද ඉල්ලා ඇත.​අවසාන වශයෙන්, මහජන නියෝජිතයෙකුගේ විනිවිදභාවය වෙනුවෙන් ඉදිරිපත් කළ ලේඛන දේශපාලනික හෝ පෞද්ගලික අරමුණු වෙනුවෙන් විකෘති කිරීම බරපතළ වරදක් බව පවසන අමාත්‍යවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මැදිහත් වී බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව අදාළ නාලිකාව සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,108

Leave A Reply

Your email address will not be published. Required fields are marked *