ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් කැපී පෙනෙන අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි. අද (11) දිනය වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 3ක පමණ අගයකින් ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය හමුවේය. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර සාමය උදෙසා වොෂින්ටනය ඉදිරිපත් කළ කෙටුම්පතට දෙපාර්ශවයේ එකඟතාවක් ඇති කර ගැනීමට අපොහොසත් වීම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා තිබේ.වෙළෙඳපොළ දත්තයන්ට අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 104.1ක් ලෙසය. මීට සමගාමීව ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඉහළ ගොස් ඇති අතර එය මේ වන විට ඩොලර් 98.51ක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.මැදපෙරදිග කලාපීය සාම සාකච්ඡා මන්දගාමී වීමත් සමඟ ඉදිරි දිනවලදී ද තෙල් මිලෙහි යම් යම් උච්චාවචනයන් සිදුවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම බලශක්ති සැපයුමට ද තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























