ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ රාජාංගනය ජලාශයේ ජල මට්ටම උපරිම සීමාව දක්වා ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 10ක් විවෘත කිරීමට වාරිමාර්ග බලධාරීන් පියවර ගෙන ඇත. මේ වන විට තත්පරයට ඝන අඩි 12,269ක දැවැන්ත ජල කඳක් කලා ඔයට මුදා හරිමින් පවතින අතර, ජලාශය ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බැවින් ඉදිරියේදී තවත් දොරටු විවෘත කිරීමේ හැකියාවක් පවතින බව නිලධාරීන් පෙන්වා දෙයි.මෙම ජල මුදා හැරීම හේතුවෙන් කලා ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව සහ ඔය පරිහරණය කරන්නන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ අංශ අවධාරණය කරයි. හදිසි ජල මට්ටම ඉහළ යාම් පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද ප්‍රදේශවාසීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

























