2026 වසරේ ජූලි මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) මෙන්ම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අගෝස්තු මස 20 වන දිනට හෝ එදිනට පෙර අනිවාර්යයෙන්ම ගෙවා අවසන් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දන්වා සිටියි. නියමිත දිනට බදු නොගෙවීම හෝ ගෙවීම් කල් දැමීම හේතුවෙන් අදාළ පාර්ශ්වයන්ට දඩ මුදල් ගෙවීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.මෙම ගෙවීම් ක්‍රියාවලියේදී, චෙක්පත්, බැංකු අණකර හෝ ගෙවීම් ඇණවුම් මඟින් සිදු කරනු ලබන ගෙවීම් නියමිත දිනට පසුව ලැබුණහොත් එය ප්‍රමාද වූ ගෙවීමක් ලෙස සලකනු ලබන බවද දැනුම් දී තිබේ. එසේම, ජූලි මාසයට අදාළ වැට් වාර්තා මාර්ගගත ක්‍රමය (Online) හරහා අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සම්පූර්ණ කර භාර දිය යුතු වේ.මීට අමතරව, රඳවාගත් බදු (Withholding Tax) අගෝස්තු මස 15 වැනි දිනට හෝ එදිනට පෙර ගෙවන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත මතක් කර දී ඇත. නියමිත දින වකවානු නිවැරදිව අනුගමනය කරමින් මෙම බදු කටයුතු නීත්‍යානුකූලව ඉටු කිරීමට කටයුතු කරන ලෙස ව්‍යාපාරික හා බදු ගෙවන ජනතාවගෙන් ඉල්ලා සිටියි.



























