වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආපනශාලාවකට දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වාලච්චේන ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් 750,000 ක දඩ මුදලක් නියම කිරීමට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ජුනි 04 වන දින වාලච්චේන පිහිටි ‘Amirtham Restaurant’ ආපනශාලාව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහිදී මෙම නීති විරෝධී ක්‍රියාව අනාවරණය කර ගැනීමට හැකි විය.​එම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ, ලීටර් 01 ක බෝතල් කළ පානීය ජලය සඳහා නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් වුවද, අදාළ ආයතනය විසින් ජල බෝතලයක් රුපියල් 130 බැගින් වැඩි මිලට අලෙවි කර ඇති බවයි. මෙම පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා ලදී.​අද දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආයතනය අදාළ වරද පිළිගැනීමෙන් අනතුරුව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කර ඇත. උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන හෝ පාරිභෝගිකයන් සූරාකෑමට ලක්කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,325

Leave A Reply

Your email address will not be published. Required fields are marked *