විද්‍යාත්මක පර්යේෂණ ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සෘජුවම දායක කරගැනීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මිනිස් උවමනාවන් සඳහා අලුත් විසඳුම් නිර්මාණය කරමින් දියුණු රටවල ආර්ථිකයන් ශක්තිමත් කිරීමට පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය ප්‍රධාන සාධකයක් වූ බවත්, එහි ඇති හැකියාව නිසි ලෙස හඳුනාගෙන භාවිත කරන රටවලට අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.​එදිනෙදා ජීවිතය සරු කරගැනීමට සහ ආදායම් මාර්ග වර්ධනය කරගැනීමට උපකාරී වන විද්‍යාත්මක තොරතුරු මහජනතාව වෙත පහසුවෙන් ලබාදීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ආයතන සඳහා වෙන් කෙරෙන පර්යේෂණ ප්‍රතිපාදන සම්බන්ධීකරණය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය තුළ විශේෂ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. මෙහිදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 14ක් මගින් දේශීය හා විදේශීය ආධාර සහිතව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පරීක්ෂා කෙරිණි. විශේෂයෙන්ම ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) මගින් අලි වැටවල් සහ පිරිවැය අඩු, පරිසර හිතකාමී ගොඩනැගිලි තාක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.​මින් ඔබ්බට, පර්යේෂණ ආයතන මගින් සිදුකරන විද්‍යාත්මක සොයාගැනීම් වාණිජකරණය කිරීමේදී මුහුණදෙන අභියෝග සහ එම පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රායෝගික භාවිතයට ගැනීමට ඇති යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදුකරන කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන පර්යේෂණ සහ ආයුර්වේද නිෂ්පාදන පර්යේෂණවල පවතින ගැටලු පිළිබඳව ද විමසා බලන ලදී. මීට අමතරව, ජාතික විද්‍යා පදනම (NSF) මගින් විශ්වවිද්‍යාල සමඟ එක්ව සිදුකරන පර්යේෂණවල ප්‍රසම්පාදන ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.​බුද්ධිමය දේපළ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් දැනට සකස් කරමින් පවතින අතර, ආපදා පූර්ව සූදානම සඳහා වන විද්‍යාත්මක මාර්ගසිතිය ලබන ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට නියමිත බව ද මෙහිදී අනාවරණය විය. බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල් අතර තාක්ෂණික හුවමාරු වැඩසටහන් මෙන්ම වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ආතර් සී. ක්ලාක් ආයතනය මගින් හඳුන්වා දෙන කෘතිම බුද්ධිය (AI) සහිත තාප රූප කැමරා පද්ධති ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡා විය. අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය (Astro-tourism), ආපදා කළමනාකරණය, සහ කජු, වී හා තේ වගාව වැනි කෘෂිකාර්මික අංශවල නවීන පර්යේෂණ ව්‍යාපෘති ද මෙහිදී සමාලෝචනය කරන ලදී. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,272

Leave A Reply

Your email address will not be published. Required fields are marked *