විදුලි බිල සැප්තැම්බර් දක්වා වෙනස් වෙන්නේ නෑ

රුපියලේ අගය උච්චාවචනය වීම හේතුවෙන් ඉන්ධන මිල කෙරෙහි යම් බලපෑමක් එල්ල වුවද, එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා විදුලි ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් නිසි පරිදි ලබා දී ඇති බැවින් රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි. තාක්ෂණික සාක්ෂරතාව අඩු පාරිභෝගිකයන් වෙනුවෙන් ඩිජිටල් බිල්පත් වෙනුවට අවශ්‍ය නම් මුද්‍රිත විදුලි බිල්පතක් ලබාදීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ.​බලශක්ති උත්පාදනයේදී රජයේ ප්‍රධාන අවධානය වඩාත් ලාභදායී සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති දෙසට යොමුව ඇති බව මෙහිදී ප්‍රකාශ විය. කුණු කසළවලින් විදුලිය නිපදවීම (Waste-to-Energy) සඳහා ඒකකයකට රුපියල් 50–60ක් වැනි අධික පිරිවැයක් වැය වුවද, එය සමාජීය ගැටලුවකට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ සමාගම්වලින් මේ වන විට ඩොලර් මිලියන 27ක දඩ මුදලක් අය කරගෙන ඇති අතර, එම ගල්අඟුරු භාවිතයෙන් බලාගාරවලට හානියක් නොවන බවට විශේෂඥයන් සහතික කර ඇතැයි ද ඔහු පැහැදිලි කළේය.​මේ අතර, ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ සුවිශේෂී පියවරක් තබමින්, ගල්අඟුරු සැපයුම් ප්‍රමාද කරන නැව් සමාගම්වලින් ප්‍රමාද ගාස්තු (Demurrage) අය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා මෙහිදී අනාවරණය කළේය. පාරිභෝගිකයාට මෙන්ම දේශීය බලශක්ති ක්ෂේත්‍රයට උපරිම සාධාරණය ඉටුකරමින්, ඉදිරි මාස කිහිපය තුළ බලශක්ති අර්බුදයකින් තොරව රට ඉදිරියට ගෙනයෑම රජයේ මූලික ප්‍රතිපත්තිය බව අමාත්‍යවරු මෙහිදී වැඩිදුරටත් කියා සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,149

Leave A Reply

Your email address will not be published. Required fields are marked *