එල්-නිනෝ දේශගුණික තත්ත්වයේ බලපෑම් හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) රැස් විය. කෘෂිකර්ම, වැවිලි, වනජීවී සහ ජල සම්පත් කළමනාකරණය යන අංශ මුහුණපා ඇති අභියෝග මෙන්ම ඉදිරි ක්‍රියාකාරී සැලසුම් මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.විශේෂයෙන්ම මේ වන විට පවතින දැඩි වියළි කාලගුණය නිසා අම්පාර, මඩකලපුව සහ මොණරාගල වැනි දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුවට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇත. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, භූගත ජල මට්ටම පහළ යාමේ අවදානම පාලනය කිරීමට ගත යුතු පියවර ගැනද අවධානය යොමු විය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථන මත පදනම්ව ග්‍රාමීය හා නාගරික ක්ෂේත්‍ර සුරක්ෂිත කිරීමට සැලසුම් කර ඇති අතර, එල්-නිනෝ තත්ත්වය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන වෛද්‍ය සුසිල් රණසිංහ සහ වසන්ත සමරසිංහ මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



























