රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලුවලට බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රබල කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අවධාරණය කරයි. පසුගිය වසර දෙකක කාලය පුරා සාකච්ඡා පැවැත්වුවද කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බව එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් පද්ධතිය අතහැර යාම, අලුතින් ආචාර්යවරුන් බඳවා නොගැනීම, ප්‍රතිපාදන හා යටිතල පහසුකම් ඌනතාව මෙන්ම සිසුන් මුහුණදෙන විවිධ දුෂ්කරතා හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.මෙම ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා හමුවීම සඳහා ලිපි යොමුකර සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. කෙසේ වෙතත්, ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය හෝ එය ආරම්භ කරන නිශ්චිත දිනය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.


























